කලු ගල දෙපලු වී මුතු උමගක් මතු වෙයි
‘මෙහෙම ඉඳලා හරියන්නෑ බං. කොහොමහරි එකපාර සල්ලි හොයාගන්න වැඩකට සෙට් වෙන්න ඕනි’
සුසන්තගේ අරමුණ වූයේ එකපාරින් සල්ලි සෙවීමටය. එය සුසන්තට එතරම් අපහසු දෙයක්ද නොවූයේ පළාතම සොළවාගෙන සිටි දේශපාලනඥයන් ඔහුගේ සමීපතමයන් වීම නිසාය.
බල්ලෝ මරා හෝ සල්ලි සොයනා අටියෙන් සිටි මේ පිරිසට ඔත්තුකරුවකු මඟින් ආරංචියක් ලැබුණේ ඒ සඳහා වූ තල්ලූවක් ලෙසිනි.
‘නිදන් කඩන්න, කවදා කරපු වැඩද බං මේ?’
ඒ ආරංචිය ලත් විගස සුසන්ත එලෙස පැවසුවේ ඒ මොහොත වනවිටත් ඔහු නිදන් කැඞීම ගැන මෙලෝ හසරක් නොදැන සිටි නිසාය. එහෙත් ඔහුගේ මිතුරු කල්ලියේ සගයන්ගේ මඟපෙන්වීම සුසන්තව නිධානය වෙතම පොළඹවන්නට විය.
‘රජ කාලේ තැනක්ලූ බං’
‘කියන විදියට පරම්පරා හතක්ම ගොඩයන ගේමක්’
මේ ඇවිටිලි අවසන් වූයේ සුසන්ත නිදන් ගොඩදැමීමට එකතුවීමත් සමගය.
ලැබුණු ආරංචි අනුව පිරිස ‘නිධානය’ ඇති තැන සොයා බැලීමට තීරණය කොට, ඒ සඳහා දිනයක්ද යොදා ගත්තේ කඩිනමිනි.
අදාළ දිනයේදී ප‍්‍රභාත් ද ඔවුන් සමග නිධානය සොයා යන ගමනට එක්වූයේ මඟ සලකුණුද එකිනෙක පෙන්වාලමිනි.
අවිස්සාවේල්ලෙන් හැරී අතුරු මඟක ගමන් ගත් පිරිසට බොරළු පාරක් හමුවන්නේ කිලෝ මීටර් පහක් පමණ ගමන් ගැනීමෙන් පසුවය. පේන තෙක් මානයක මිනිස් වාසයක් නොපෙනුණෙන් මුළු පරිසරයම පාළු ගතියකින් වෙළී තිබිණි. ඒ පාළුව තවත් වැඩි වූයේ පිරිසේ පැවති නිහඬතාව නිසාය.
පෙර මඟට කිසිවෙක්ම හමුනොවූයෙන් සුසන්තගේ කල්ලියට බියක් නොදැනිණි. එකවරම නිහඬතාව බිඳිමින් සුසන්ත ප‍්‍රභාත් ඇමතුවේ හිතේ ඇති සැකයක් දුරුකර ගැනීමේ අදහසිනි.
‘මචං උඹට හොඳටම ෂුවර්ද මේවා ගැන?’
සුසන්තගේ ස්වරයේ පැවතියේ අවිශ්වාසයකි.
‘මේවා මචං ලැබුණේ හොඳ ෂුවර්ම එකෙක්ගෙන්. මිනිහා මේ ගැන හොඳ සෝදිසියෙන් හිටියා. පොරට දැන් ඇඳෙන් නැගිටින්න බෑ. ඒකයි වැඬේ මිස් වුණේ. ඌ හිටියා නම් මේ චාන්ස් එක උඹලට එන්නේ නෑ’
මිතුරාගේ වදනින් සුසන්තගේ සිතේ පැවති සියලූ සැකයන් දුරුවූ අතරම මේ තමන්ගේ ජීවිතේ ගොඩ දමා ගත හැකි එකම මඟ බවද සුසන්තට ඒ වනවිටත් දැනෙමින් තිබිණි.
බොරළු මඟ අවසන් වූයේ ගල් කුලක් වෙත මෙකී පිරිස සමීප කරවමිනි. එතැන් සිට ගලින් ගලට පනිමින් දුෂ්කර ගමනක පිරිස ගමන් කළේ එහි අවසන තමන්ට ලැබෙන වාසිය තකාය.
ගලකින් පනින්නට දුෂ්කර වෑයමක නිරතවූ ප‍්‍රභාත් ඈතින් දුටු පඬු පැහැ සිවුරු නිසා මඳක් කලබල වූයේ යමක් මතක් වූ ලෙසිනි.
‘මතක තියාගනිල්ලා අපි ආවේ දානෙකට දිනයක් ගන්න කියලා. කාටවත් සැක හිතෙන විදියට හිටියොත් වැඬේ එතැනම ඉවරයි. දෙන්නෙක් තුන්දෙනෙක් ලොකු හාමුදුරුවො එක්ක කතාවට වැටෙන අතරේ මායි සුසන්තයි පොට් එකට ඇහැ දාන්නම්’
සැලසුම එලෙසම ක‍්‍රියාවට නැංවෙන්නට වූ අතර සුසන්ත, ප‍්‍රභාත්ද කැටුව ආරාමයේ බෑවුමෙන් වූ තවත් ගල් කුළක් දෙසට ඇවිද යන්නට වූහ.
ගල් කුළ පැවතියේ තනි රවුමක් ලෙසිනි. එහි පහළ බෑවුමේ වූයේ නිධානයක් ගැන පෙරනිමිත්තයි. ගලේ නයි පෙණ හතක ලකුණක් වූ අතරම එහි මැද තනි තිතකි. ඒ අසලින් පෙණය පුප්පාගත් නාගයකු ඇදී යන රූපයක්ද වූයෙන් මේ නම් කුමක් හෝ රහස් ලකුණක් බව බැලූ බැල්මටම සුසන්තටද වැටහෙන්නට වූවේය.
‘උඹ නොදන්නවා වුණාට සාස්තරේ දන්න එකාට මේක කිරිගහට ඇන්නා වගේ ෂුවර්.
බයක්, සැකක් නැතුව වැඬේට බැහැපන්’
සැදෑ කළුවර මහපොළොව සිපගන්නට හෝරා කීපයකට පෙරාතුව පිරිස ගල් කුළෙන් පහළට බැස්සහ. ගොම්මන නිසා ඔවුනොවුන්ට එකිනෙකාගේ මුහුණ නොපෙනුණද ඒ හැම මූණකම වූයේ ඉක්මනින්ම නිධානය
ලබාගැනීමේ බලාපොරොත්තුවයි.
සැලසුමේ පරිදි ඊට පසුදිනයක නැවතත් මෙකී පිරිසට නිධානය ඇතැයි සැක කළ තැනට යන්නට සිදුවූයේ එය පරීක්ෂා කිරීම පිණිසයි.
යන්ත‍්‍රානුසාරයෙන් ගල් කුළ අභ්‍යන්තරය පරීක්ෂා කළද සැබෑවටම නිධානයක් ඇති බවක් නම් සොයා ගැන්මට නොහැකි වූයේ අවාසනාවන්ත ලෙසකිනි. මුලසිටම විශ්වාසයක් නොතිබුණත් මේ නිසාම අතරමඟකදී සුසන්ත නිධානය ගැන මවා සිටි සිහින බොඳකරගන්නට සිදුවූයේ අනපේක්ෂිත ලෙසිනි.
‘ස්කෑන් කළත් වැඩක් නෑ. මෙතැන ඇති නිධානයක් නෑ. දැන් ඉතින් දෙයියනේ කියලා හෙට ඉඳලා වෙන අතක්
බලාගමු’
සුසන්තගේ කල්ලිය සිය අපේක්ෂාවන් බිඳගත්තද මේ අතර සිටි ප‍්‍රභාත් නම් නිධානය ගැන බලාපොරොත්තු අතහැර ගත්තේ නැත.
‘මේක කොහොමවත් වෙන්න බෑ බං. මට මේක කිව්ව කෙනා ඉර හඳ වගේ ෂුවර්. උඹලා කලබල වෙන්න එපා. මේකට කරන්න ඕනි දේ මං දන්නවා’
ප‍්‍රභාත්ගේ වදනින් යළිත් පිරිසට යම් විශ්වාසයක් ගොඩනැගුණු අතර එතැන් සිට ඉදිරියේදී මේ සඳහා කළයුත්ත කුමක්දැයි ආදී සියල්ල තීරණය කළේ ප‍්‍රභාත්ය.
පසුදින සිට ප‍්‍රභාත්ගේ විධානයන් අනුව සියල්ලම සිදුවන්නට විය. ඒ අනුව පිරිස අනුරාධපුරයෙන් ඈතක වූ පිටිසර ගමක් වෙත යන්නේ සාස්තරයේ කෙළ පැමිණි යැයි ප‍්‍රචලිත යකැදුරෙක් හමුවන්නටය.
පැමිණි කාරණය පවසා යකැදුරු ඉදිරිපස හිඳගත් පිරිස ප‍්‍රීතියෙන් ඉපිලෙන්නට වූයේ නිධානය සැබෑවක් වන බව යකැදුරු විසින්ම පැවසූ නිසාය.
‘මේක පරම්පරා ගණනකට ඉස්සර නිධානයක්. හැබෑ අයිතිය තියෙන්නේ පුරාණ කාලේ රජ කෙනෙකුට. ඔය දරුවන්ට නිධානය පෙන්නුම් කරන්න බැරි කාරණයක් තියෙනවා. මේකේ අයිතිය තියෙන රාජ පරම්පරාවෙ දැන් උරුමක්කාරයා ජීවතුන් අතර ඉන්නවා. ඔය කාරණේ තමයි මේ දරුවන්ට හරහට හිටින්නේ’
තමන් ඇස ගසා සිටි නිධානයේ සැබෑ උරුමකරුවා ගැන දැනගත් පිරිස ඉන් පසුතැවෙන්නට වූහ.
‘අපිට කරන්නම දෙයක් නැද්ද වෙද මහත්තයො?’
ප‍්‍රභාත් ඇසුවේ තවත් කුමක් හෝ දෙයක් සිදුකර නිධානය සතුකර ගැනීමට ඇති අපේක්ෂාවෙන් වුවද පරාජිත හඬකිනි.
‘තියෙනවා. තියෙනවා. ඒ ගැන බයවෙන්න කාරි නෑ. මං කියන විදියට සති 7ක් පූජාවක් කරන්න ඕනි. ඒ හැම එකක්ම කරන්න ඕනි උරුමක්කාරයාගේ නමට. මං ඕං කිරි ගහට ඇන්නා වගේ කියන්නම් සති 7කින් පස්සේ නිධානයේ දොර ඇරිලා තියෙයි’
මින් පෙර කිසිම දිනයක පුද පුජාවක් ගැන තඹ දොයිතුවකට මායිම් නොකළ ප‍්‍රභාත්, මෙදා පාර නම් වෙදමහතා කී පූජාවට එකඟ විය. නිධානය උරුමකරු මුල්කොටගෙන සති 7ක පුදපූජාවන් උදෙසා යුහුසුළු වූ පිරිස වෙදමහතා කී පරිදිම පූජාව පැවැත්වූහ.
සති හත ගෙවී ගියේ කාටත් නොදැනීය. නිධානයේ දොර ඇරී ඇද්දැයි සොයා බලන්නට පිරිස තුළ වූයේ දැඩි කලබලයකි. එනිසාම සති 7 අවසන් වූ ඉක්මනින්ම නිධානය ඇති ගල්කුළ වෙත පිරිස ළඟා වූහ.
පුදුමයකි. නයි පෙණ මැද වූ තිත වටා දාරයක් වෘත්තාකාරව මඳක් ඉහළට මතුව තිබිණි. යකැදුරු කී වචනයේ සත්‍ය එළිපිටම, පිරිසගේ දෑස් ඉදිරිපිටම පෙනෙන්නට වූයේ සියලූ සැක දුරු කරවමිනි.
‘ඔය තියෙන්නේ.... හරියට හරි බං. දැන් ඉතින් තියෙන්නේ අතේ තියෙන දේ කටට දාගන්න එක’
ප‍්‍රභාත්ගේ වචනවල වූයේ කිවනොහැකි තරම් සතුටකි. ඒ සතුටට එක්වූ අන් අයද ගලේ වූ දාරය හොඳින් ස්පර්ශකර බැලූහ. ඒ අතර දැන් එළඹ ඇත්තේ අවසාන හා වැදගත්ම රාජකාරිය බව ප‍්‍රභාත් තම පිරිසට පැවසුවේ ඔවුන්ගේ උද්දාමයට බාධා කරවමිනි.
‘මේ වෙනකන් කාටවත් මාට්ටු වුණේ නෑනේ. දැන් ඉතින් වැදගත්ම වැඬේ කෙරෙන්ඩත් ඕන ඒ ක‍්‍රමයටම තමයි’
එලෙසින් නිධානය ගොඩගන්නා දිනය එළඹුණි. තමන්ට අවශ්‍ය යන්ත‍්‍ර සූත‍්‍ර වාහනයක දමාගත් පිරිස බොරළු පාර වෙත පැමිණ, වාහනය අතරමඟ දමා ඉන්පසු බඩු බාහිර කරින් රැුගෙන ගල් කුළ නගිින්නට වූහ.
‘හාමුදුරුවන්ට සැක නොහිතෙන්න වගබලාගන්න ඕනි. කට්ටියක් මෙතැන ඉඳිද්දි අනිත් අය ආරාමේ ගැන
බලාගන්න‘
ප‍්‍රභාත් විධානය කරන්න වූයේ දැඩි හඬිනි. එතැන් පටන් පිරිස කණ්ඩායම් දෙකක් ලෙස වැඩ අරඹන්නට වූහ.
ආරාමයට ගිය උන් දානය ගැනත් ආරාමයේ පිළිසකර කටයුතු තමන්ට භාරගත හැකි බවත් පවසා නායක හාමුදුරුවන් සමග කතාවට වැටෙද්දී සුසන්ත සහ ප‍්‍රභාත් තවත් අයෙක් සමගින් තම වැඩ කටයුතු ඇරඹූහ. නිධාන ගලේ පැවති නයි පෙණ හතේ මැදවූ තිත වටා මතුව තිබූ රවුම යන්ත‍්‍ර මඟින් හෑරූ ඔවුන් බලාපොරොත්තු වූයේ නිධානයේ අගුලයි. එහෙත් අපේක්ෂාවන් බිඳවැටුණේ කිසිවකු නොසිතූ ලෙසය. ගල තුළටම වන්නට කුඩාවට විහිදුණු එක සමාන්තර නොවූ උමඟකි. නාගයකු ගමන් රටාව හා සමාන ලෙසින් විටෙක උස් වෙමින්ද විටෙක පහත් වෙමින්ද මෙම උමඟ ගල තුළට විහිද තිබුණේ සුසන්තලා බලාපොරොත්තු නොවූ ලෙසකිනි.
‘මචං මේක ගන්න නං වැකුම් එකක්ම ඕනි’
ප‍්‍රභාත්ට එය දුටු වහාම පැවසීය.
දින කිහිපයකින්ම අවශ්‍ය පරිදි වැකුම් යන්ත‍්‍රයක් සොයාගත් පිරිස නිධානය ඇති ගල්කුළ වෙත ළඟාවූහ.
නිධානයක් බලාපොරොත්තුවෙන් සිටියද එය ලැබෙන තෙක්ම සුසන්ත සිටියේ දෙගිඩියාවෙනි. එහෙත් ඒ දෙගිඩියාව තුරන් කර එකවරම ඇත්දළ පැහැයෙන් යුත් මුතු කැට
රැුසක්ම කුඩා උමං මඟ දිගේ ගලාඑද්දී සුසන්ත හා ප‍්‍රභාත්ට දෑස් අදහාගන්නට මොහොතක් ගතවිය. මුතු කැට අතට ගත් සුසන්ත හා ප‍්‍රභාත් තුටින් ඉපිලෙමින් කෑගසන්නට වූයේ සිටි තැනද අමතක කරමිනි. බලාපොරොත්තු වූ කුට්ටිය අතට ලැබුණත් ආරාමයේ වූ නිධානයක් කැඞීම ගැන ඔවුන්ට නිරන්තරයෙන්ම මතක් වන නිසාම සියලූ පව් සෝදා ගන්නට සිතා ආරාමයේ පිළිසකර කටයුතු වෙනුවෙන් කොටසක් වෙන් කරන්නට අකැමැත්තෙන් වුවද ඔවුන් පෙළඹුණහ.
පසුදිනක ප‍්‍රභාත් නිකමට මෙන් ආරාමයට ගොඩවැදුණේ ඒ ප‍්‍රදේශයෙන් ගමනක් යන අතරතුරේය.
ආරාමයේ ගල්කුළ දෙස ප‍්‍රභාත් බලන්නට වූයේ එහි නිදන් හෑරූ බවක් ගැමියන්ට දැනගන්නට ලැබුණාදැයි සොයාබැලීමටය. එදෙසට ඇවිද යන අතරතුරේ ප‍්‍රභාත්ට ආරාමයේ ලොකු හාමුදුරුවන් හමුවූයේ අනපේක්‍ෂිත ලෙසිනි.
‘ආ ළමයෝ, මොකද මේ පැත්තේ’ හාමුදුරුවෝ විමසුවේ කලකට පසු ප‍්‍රභාත් දැකීම නිසාය.
‘අද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මහත්තුරු වගයක් එනවා කිව්වා. ඒකයි මම මේ මඟ බලාගෙන හිටියේ. මේ ළඟදී මේ ගලේ කැණීම් වගයක් කළා ළමයෝ. එතකොටයි දැනගත්තේ මහා වටිනා නිදානයක් තිබුණු විත්තිය’ ආගිය තොරතුරු විමසීමෙන් පසු හාමුදුරුවන් පැවසූ වදනින් ප‍්‍රභාත්ට උතුර දකුණ මාරුවිය.
රසිකා රාජපක්ෂ
අනුරුද්ධ වේලාරත්න
No comments:
Post a Comment