අරැණ නැග එමටත් මත්තෙන් එපා ඉරා දමන්නට, සිනිදු මිහිදුම් සළුපට ඉරත් හෙමින් නැග එවි දුකක් දැනේවි හදවතට.........
Monday, January 28, 2013
කෙළෙසා අඹුව කරගත් උදේශිකා සුසන්තගේ දසවධයෙන් මරුට
කෙළෙසා අඹුව කරගත් උදේශිකා
සුසන්තගේ දසවධයෙන් මරුට
ඈතින් ඇසෙන්නට වූ වෙඩි හඬ සමීපයෙන්ම ඇසෙන්නට වූයේ කන් බිහිරි කරවමිනි. ජීවිතය පිළිබඳ තවදුරටත් අංශු මාත‍්‍රයක හෝ බලාපොරොත්තුවක් තබාගත නොහැකි බව උදේශිකාද දැන සිටියාය.
ඉතිරිව ඇත්තේ එක් විසඳුමක් පමණි. ඒ තමන් හැදුණු ගම්මානය දමා යෑමයි. මායිම් ගමක් වූ සේරුවාවිල නැගෙනහිර කාවන්තිස්සපුර පදිංචිව සිටි උදේශිකා සිය පවුලේ අය සමග ආනමඩුව, දිවුල්වැව උණලීය ප‍්‍රදේශයේ පදිංචියට පැමිණෙන්නේ එලෙසය.
එතැන් පටන් ආනමඩුවේ නව ජීවිතයට හුරු වන්නට උදේශිකාලාට සිදුවිය. තම මව වූ කුසුම් ලංකා ප‍්‍රභා කුමාරි හා පියා සුනිල් සෝමරත්නද, නැගණිය හා ආබාධිත එකම සොහොයුරු සමගද කල්ගෙවමින් උදේශිකා ගත කළේ සැපවත් දිවියක් නම් නොවේ.
කොටි ත‍්‍රස්තවාදීන්ගෙන් ගැලවෙන්නට ආනමඩුවට පැමිණි උදේශිකා නොසිතූ ලෙස ගැලවිය නොහැකි පරිද්දෙන් තවත් නොමිනිසකුගේ උගුලකට හසුවන්නේ ඇගේ ඉදිරි ජීවිතයම අඳුරු කරවමිනි.
එවකට 13 හැවිරිදි උදේශිකා දිල්ශානි එදින නිවසේ පාඩම් වැඩකටයුතු කරමින් සිටියාය. එහෙත් තමන් දෙස තවත් අයෙක් බලා සිටින බව ඇය නොදත්තාය. එකවරම ඇය දරදඬු දෑතක ග‍්‍රහණයට හසුවූයේ ඇයට කිසිවක් සිතන්නට ඉඩ නොතබමිනි.
‘අම්මේ... අම්මේ..’ කියමින් ඇය මහ හයියෙන් හඬ ගෑවද කිසිවකු ඇය බේරා ගන්නට නොපැමිණියේ ඇගේ හඬ අහල පහළ වූ කිසිවකුටත් නොඇසුණු නිසාය.
මීට සිවු වසරකට පෙර ආර්.පී.ඞී. සුසන්ත පුෂ්පකුමාර උදේශිකාව පැහැරගෙන යන්නේ එලෙසය. සුසන්ත මෙලෙස උදේශිකාව පැහැරගෙන ගියේ තිඹිරිගොල්ල ප‍්‍රදේශයේ වූ සොහොයුරියකගේ නිවෙසක් වෙතය. එහිදී 13 හැවිරිදි උදේශිකා මේ නොමිනිසාගේ ග‍්‍රහණයට හසුවිය. ළමා විය ඉක්මවන්නටත් පෙර මල් කැකුළක් තිරිසන් නොමිනිසකුගේ දෑතට පොඩිවී පෙති හැලෙන්නේ එලෙසිනි.
කළ යුතු දෙයක් ගැන නිසි වැටහීමක් උදේශිකා සතු නොවූවද සුසන්තගේ තීරණය වූයේ මෙතැන් සිට උදේශිකාත් තමාත් අඹු සැමියන් ලෙසින් ජීවත් විය යුතුය කියාය.
‘මං ඔයාට හොඳට සලකන්නම්. මාත් එක්ක මෙහෙ ඉන්න’
සුසන්ත කී දෙයට උදේශිකා එකඟ වූයේ වෙන කළ හැකි දෙයක් ඇයට නොවූ නිසාය.
එහෙත් උදේශිකාගේ මව වූ කුසුම් නම් මේ ගැන සිටියේ තදබල උරණ බවකිනි.
‘මේ මිනිහට හෙණ ගහන්න ඕනේ. මගේ අහිංසකීට කළ දේට’
සුසන්තට දෙස් දෙවොල් නැගූ කුසුම් ඉන් නොනැවතී ඔහුට විරුද්ධව නඩුවක්ද දැමුවේ මේ කළ විපතට නීතියේ පිහිට හෝ තමන්ට ලැබෙතැයි සිතාය.
කුසුම් තම දියණිය බේරා ගැනීමට වෙරදරන අතරේ උදේශිකා තම ළමා කාලයේදීම මුහුණ දියහැකි බොහෝ විපත්තීන් සඳහා මුහුණ දී සිටියාය. යෞවනයේ දොරකඩ සිටියද ඒ නිදහස විඳින්නටද බාධාවක් වූයේ 15 හැවිරිදි ඇය ඒ වනවිටත් මවක් වන පෙරලකුණු පහළව තිබූ නිසාය.
දරු ප‍්‍රසූතිය වෙනුවෙන් සිය මවගේ නිවසට උදේශිකා පැමිණෙන්නේ යටි සිතෙහි වෙනත් සැලසුමක්ද තබාගෙනය.
‘අනේ අම්මේ, නොකා නොබී හරි මං මේ ගෙදර ළමයවත් හදාගෙන ඉන්නම්. මට නම් අර මිනිහා එක්ක ආයෙත් ජීවත් වෙන්න බෑ’
උදේශිකා හඬමින් කියද්දී මවගේ සිත යම් තරමින් සතුටට පත්වූයේ තම දියණිය නොමිනිසාගෙන් ගලවා ගන්නට හැකි වේ යැයි ඇය සිතූ නිසාය.
‘දැන්වත් ඕක තේරුණා නම් ඇති දරුවෝ. කොහොමත් මං උඹට ආයෙත් ඒ මිනිහා ළඟට නම් යන්න දෙන්නේ නෑ’
විවාහ නොවී ළාබාල වියේදීම දරුවෙක් කරපින්නා ගැනීමට සිදුවූ තම අසරණ දියණිය දෙස බලමින් කුසුම් පැවසුවේ ශෝකයෙනි.
එතැන් සිට නමට පමණක් වූ තම නීත්‍යනුකූල පුරුෂයා සිය ලෝකයෙන් පිටමං කළ උදේශිකාගේ මුළු ලෝකයම වූයේ කුඩා දියණියයි. විශ්මි සෞභාග්‍යාද එතැන් සිට සිය යොවුන් මවද, මිත්තණියද, සීයා ඇතුළු පවුලේ සාමාජිකයන් සමගින් ආනමඩුව නිවසේ කෙළිදෙලෙන් පසුවූවාය.
උදේශිකා නැවත සුසන්ත ගැන සිතා නොබැලූවත් සුසන්ත නම් ඇය සොයා ඒම නැවතුවේ නැත. විටින් විට ඇය සොයා එන ඔහු තමා සමග යළිත් ජීවත්වන්නට ඇයට බල කරන්නටද විය.
‘මං ඔය දෙන්නව හොඳට බලාගන්නම්. මාත් එක්ක එන්න’
නිතර ඇය හමුවී ඔහු ඇවිටිලි කළද තවදුරටත් ඔහුව විශ්වාස කරන්නට නම් උදේශිකා අකැමැති විය. මන්ද ඔහු හා ගෙවූ වසර දෙකක කටුක දිවිය ඇයට වහකඳුරු මෙන් වූ නිසාය.
එනිසාම තම මවගේ නිවසේ ඔවුන් හා විසීමට ගත් තීරණය ඇය වෙනස් නොකළාය. කරදර එනවිට එන්නේ කලින් පවසා නොවේ. උදේශිකාටද එක පිට එක පැමිණි කරදර නිසා ඔළුව ඔසවාගන්නට නොහැකි වූවාය. ඇගේ මව ලොරියකට යට වී ආබාධිත වන්නේ මේ පවුල තව තවත් අසරණ කරවමිනි.
ආබාධිත මවද, සොහොයුරාටද සවියක් වෙමින් සිය පවුලේ බර තමන්ම දරාගන්නට උදේශිකා තීරණය කරනු ලබන්නේ එනිසාය.
‘අම්මලා මගෙ ළමයා බලාගන්න. මං ගාමන්ට් යන්න හිතාගත්තා’
උදේශිකා සිය තීරණය මව හමුවේ ප‍්‍රකාශ කළාය.
‘අනේ මන්දා දරුවො තියෙන කරදර මදිවට අපිත් උඹට කරදර දෙනවනෙ’
කුසුම් දියණිය හා පැවසුවත් මොවුන්ට කළහැකිව තිබුණේද එයම බව කුසුම්ද හොඳාකාරව දැන සිටියාය.
ඒ අනුව උදේශිකා දිල්රුක්ෂි මීට මාස දෙකකට පෙර මාවතගම ‘එකෝ’ ඇපරල් ආයතනයට එක්වන්නේ පවුලේ එදිනෙදා වියදම හෝ පියවා ගැනීම උදව්වක් වේ යැයි සිතාය.
ඇඟලූම් දිවිය වෙහෙසකර වුවත් උදේශිකා තම වයස ඉක්මවා ලබා සිටි දුෂ්කර බව නිසාදෝ ඒ ගැන එතරම් තැකීමක් නොකළාය.
විටින් විට සුසන්තගේ බලකිරීම් පැවතියත් මවගේ අවවාද හමුවේ උදේශිකා සුසන්තගේ බහට නොරැුවටී සිටියේ දැඩි සිතකිනි.
‘එකපාරක් වැටුණු වළේ ආයේ ආයෙත් වැටෙන්න එපා දුවේ’
කුසුම් නිතරම තම දියණියට පවසන්නට වූයේ ඇගේ සිත සුසන්ත වෙත ඇදී යාම වැළැක්වීම පිණිසය.
යමක් කැමැත්තෙන් ලැබෙන්නේ නැත්නම් බලෙන් හෝ ලබාගැනීමේ අරමුණින් සිටි සුසන්ත මේ නිසාම උදේශිකා හා සිටියේ අමනාපයෙනි.
සිතේ පැවති අමනාපය වැඩි වී වෛරයකින් පිරී ගියත් සුසන්ත එය පිටට නොපෙන්වා තවදුරටත් ඉවසා සිටියේ කෙසේ හෝ සිය අභිප‍්‍රාය ඉටුකර ගැනීමේ අරමුණෙනි.
පසුගිය 8 වැනිදා උදාවන්නේ උදේශිකාගේ සිතේ සතුටේ සේයාවන්ද ඇති කරවමිනි. උදේශිකාගේ පණ හා සමාන වූ විශ්මි සෞභාග්‍යා දියණියගේ දෙවැනි උපන් දිනය යෙදී තිබුණේ එදිනටය.
‘චූටි දුවට අද හවස අම්මා එනකොට තෑග්ගක් ගේනවනේ. එතකං ආච්චි අම්මට කරදර නොකර ඉන්න’
එසේ පැවසූ උදේශිකා තම සුරතල් දියණිය සිප ගනිමින් නිවසින් පිටව යන්නේ සවසට දියණියට උපන් දින තෑග්ගක් රැුගෙන ඒමේ අටියෙනි. එහෙත් තමා මෙලෙසින් පිටව යන්නේ තම අවසන් ගමනට බව උදේශිකා ඒ වනවිටත් නොදැන සිටියාය.
එදින වැඩ අවසන් වී රාත‍්‍රී 7ට පමණ ඇඟලූම්හලේ බස්රථයෙන්ම ඇය ආපසු නිවස වෙත එන්නේ සිය කුඩා දියණියගේ මුහුණ දැකීමේ නොඉවසිල්ලෙනි.
බස්රථයෙන් බැස සොහොන් පිටිය හරහා වූ අතුරු පාරේ ගමන්ගත් ඇය අඩිය ඉක්මන් කරන්නේ ඒ වනවිටත් හතරවටින්ම අඳුර වැටී තිබුණු නිසාය. කිලෝ මීටර් තුනක් පමණ වූ අතුරු පාරේදී ඇයට බියක් ඇති නොවූයේ සුපුරුදු පරිදි හැමදාමත් ගමන් ගන්නා නිසාමය.
එහෙත් එදින පාරේ ඉදිරියෙන් කවුරුන් හෝ මඟ අවුරාගෙන සිටිනා බව දුටු උදේශිකා තැතිගත්තද ඒ තමන්ගේ මරුවා බව කිසිලෙසකටවත් නොසිතුවාය.
එහෙත් ආර්. පී. ඞී. සුසන්ත කුමාර මෙසේ මඟ අවුරාගෙන සිටියේ උදේශිකා සමග අද නම් දෙකින් එකක් බේරාගන්න බව හදවතට සපථ කරගනිමින්ය.
‘උදේශිකා ඔහොම නැවතියං, මට උඹත් එක්ක කතා කරන්න ඕනි’
‘මොනවද මනුස්සයො තවත් කතාකරන්න තියෙන්නෙ. මට කරදර නොකර යන්න දෙනවා’
‘යන්න දෙන්න’
පැවසූ සුසන්ත තම සිතේ පැවති වෛරය ක‍්‍රියාවෙන් ඔප්පු කරන්නට විය. මරාවේශ වූ සුසන්ත උණ පොල්ලක් රැුගෙන උදේශිකාගේ හිසේ සිට මුහුණටත්, යටි බඩ පෙදෙසටත් නොනවත්වාම පහර දීගෙන ගියේ මේ තමන් නිසා දරුවකු වැ¥ ගැහැනිය නේදැයි යන්නද අමතක කරමිනි. උදේශිකා විලාප දෙමින් කෑ ගසද්දී සුසන්ත ඇගේ යටි බඩට පිහියකින් ඇන දැමුවේ තම වෛරයේ ගිනි පුපුරු පිට කරමිනි.
ළමා වියේ සිටම නොමිනිසෙක් නිසා අසරණ වූ උදේශිකා එකී නොමිනිසා නිසාම යොවුන් වියේදීම මරණය වැළඳ ගත්තාය. උදේශිකාගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට ආර්. පී. ඞී. සුසන්ත පුෂ්ප කුමාර මේ වනවිටත් ආනමඩුව පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ. ඔහුගේ ප‍්‍රකාශයන්ට අනුව අපරාධයට සම්බන්ධ ආයුධ, පොලීසිය විසින් උණලීය වැවේ දමා තිබියදී සොයාගන්නා ලදී.
පුත්තලම වැඩබලන මහේස්ත‍්‍රාත් පයාල් අබුතා හිර් මහතා 9 වැනිදා මහේස්ත‍්‍රාත් පරීක්ෂණය පැවැත්වීය.
එහිදී සැකකරු 9 වැනිදා සිට 16 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම කෙරුණු අතර උදේශිකා දිල්හානිගේ ඝාතනය පිළිබඳ පොලිස් පරීක්ෂණ තවදුරටත් පැවැත්වේ.
උදේශිකාගේ ඝාතනය යනු මෙලෙස සිදුවූ පළමු ඝාතනයද නොවේ. එසේම එය මෙරට සිදුවන අවසාන කාන්තා හිංසනයද නොවේ. මෙවන් තත්ත්වයකදී කාන්තා ආරක්ෂාව පිළිබඳ අප වැඩි වැඩියෙන් කතාකිරීම හෝ වැඩි වැඩියෙන් ශෝකාකූලවීම ප‍්‍රමාණවත් නොවේ.
එය කතා කිරීමට පමණක් සීමා නොවී, වැඩි වැඩියෙන් අනාරක්ෂිත වී ඇති කාන්තා ජීවිත සුරක්ෂිත කරන්නා වූ සමාජ වටපිටාවක් ගොඩනැගීම වෙනුවෙන් ක‍්‍රියා කළ යුතුව ඇත.
එසේ නොමැති වුවහොත් උදේශිකා මුහුණ පෑ විපත්තියට හෙට ඔබේ මව, බිරිඳ, දියණියට මුහුණපෑමට සිදුවීම වැළැක්විය නොහැකි වනු නොඅනුමානය.
රසිකා රාජපක්ෂ
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment