Tuesday, January 22, 2013

මුහුදු පතුලේ සැගව ගිය ආසියාවේ ආශ්චර්යය


මුහුදු පතුලේ සැගව ගිය ආසියාවේ ආශ්චර්යය

කලකට පෙර මුහුදු පත්ලේ සැඟව සිටි ‘ටයිටැනික් නෞකාව’ පිළිබඳ කතාව ලොව බොහෝ දෙනෙක් තුළ ඇති කළේ අපූරු කුහුලකි. එදා යුරෝපය ඇතුළු ලොව පුරා බොහෝ දනන් මුහුදු පතුලේ සැඟව සිටි ටයිටැනික් ගැන සොයා බැලූවාක් මෙන් ලක්වාසී අපටද උද්යෝගයෙන් සොයා බැලිය යුතුම කාරණයක් මුහුදු පතුලේ සැඟව තිබේ.
ඒ අන් කිසිවක් නොව පෞරාණික නෞකාවකි. මීට වසර දෙදහස් ගණනකට (සියවස් විසි දෙකකට* පෙර මුහුදු පතුල වැළඳගත් එකී නෞකාව අද ගැඹුරු මුහුදු පත්ල වෙන් නොවන ලෙස තදින් බදා වැළඳගෙන සිටියි. මෙකී පෞරාණික නෞකාව වසර 2200කට පමණ පෙර අතීතයකට උරුමකම් කීම පමණක්ම නොව දැවයෙන් නිමවා තිබීමද එහි විශේෂත්වයකි.
අද බොහෝදෙනෙක් මේ සුවිශේෂී නෞකාව ගැන කතාබහ කළද ලොවට හොරෙන් මුහුදු පත්ලට වී සැඟව සිටි මේ නෞකාව නෙත ගැටුණේ 2003. අම්බලන්තොට ප‍්‍රදේශයේ හක්බෙල්ලන්, මුහුදු කූඩැල්ලන් සොයා මුහුද පීරූ කිමිදුම්කරුවන් දෙදෙනෙකුගේ අහම්බෙනි. ඒ පිළිබඳ ඔවුහු ඒ ප‍්‍රදේශයේ කැණීම් කටයුතු කළ නිලධාරියකුට දැන්වූයේ එහි වටිනාකම යම් පමණක හෝ අවබෝධ කොටගත් නිසාවෙනි. ඔහු හරහා ඒ පුවත පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට ලැබෙනා අතර ඒ සමගින් ලොවට වහන්ව මුහුදු පත්ලේ සිටි පැරැුණි නෞකාව ගැන තතු ලොවට හෙළිවන්නට වූයේය.
ඒ අනුව 2007දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මධ්‍යම සංස්කෘතික අරමුදල සමගින් මුහුදු පුරාවිද්‍යා අංශය එක්ව මෙම පෞරාණික නෞකාව පිළිබඳ මූලික පර්යේෂණ කටයුතු ඇරඹීය. 2012 වසරේදී සහ 2013 මුල් කාලයේදී සිදුකළ පර්යේෂණයන්ගෙන් මෙය මුහුදු පතුලේ සැඟව සිටි තවත් එක් පෞරාණික නෞකාවක් පමණක් නොව සියවස් ගණනාවක අතීතයක් දරා සිටිනා නොෟකාවක් බවට පසක් වී ඇත.
අතීත සාක්ෂින් සඟවා ගනිමින් මුහුදු පත්ලට වී සිටිනා මෙම නෞකාව ඇත්තේ කාටත් හුරුපුරුදු තැනකය. ඒ වත්මන් මහින්ද රාජපක්‍ෂ වරායේ ද්වාරයේ සිට කිලෝමීටර තුනක් පමණ ඈතට වන්නට මුහුදු පත්ලේ අඩි 120 - 125ක් පමණ ගැඹුරකය.
මේ නෞකාව දිගින් මීටර් 20ක් පමණය. පුරාවිද්‍යාත්මක සාධකයන් අනුව ක‍්‍රිස්තු පූර්ව 1-2 අතර කාලයට අයත් බවටද මුහුදු පුරාවිද්‍යාඥයන්ගේ අනුමානයකි.
මෙම නෞකාව මුහුදුබත්ව ඇත්තේ මෙම ප‍්‍රදේශයේ මුහුදේ ඇති චණ්ඩ බව නිසා හෝ වැඩි බර පරිමාව පාලනය කරගත නොහැකි වීමෙන් හෝ නාවික, යුද, තාක්ෂණික ක‍්‍රියාවක් වැනි කරුණු කාරණා මත විය හැකිය බව ඔවුන්ගේ අදහසයි.
එසේම මෙම නෞකාවෙන් හමුව ඇති වළංකටු, වීදුරු, ඇඹරුම් ගල් ආදී දෑ පිළිබඳ කාල නිර්ණය කළ විට එය අනුරාධපුර මුල් යුගය දක්වා වූ අතීතයකට දිව යෑමද විශේෂත්වයකි. එමෙන්ම මෙම නෞකාව යුද කටයුතු සඳහා භාවිත කළ නෞකාවක්ද භාණ්ඩ එහා මෙහා ප‍්‍රවාහනය කළ නෞකාවක්ද නොඑසේ නම් මගීන් ප‍්‍රවාහනය කළ නෞකාවක්ද යන්න මේ වනතුරුත් නියමාකාරව සොයාගෙන නොමැත.
එමෙන්ම මෙරට මුහුදු සීමාවට වී සැඟව සිටියද නෞකාව සැබෑවටම කුමන රටකට අයත්දැයි ස්ථිර ලෙසින් කිව නොහැකිව ඇත. එමෙන්ම මේ නෞකාව මිනිසුන් 10-15 දෙනෙක්ට පමණ සරිලන ප‍්‍රමාණයේ නෞකාවක් බවත් මෙහි සිට හමුවූ දෑ මුහුදු ගමනේදී එම පිරිස භාවිත කළ දෑ විය හැකි බවත් අනුමානයකි. එසේ පවසන්නට විශේෂම හේතු කාරණාවන් වනුයේ මෙම භාජන මළ මැලියම් බැඳී ඇති නිසා බව මුහුදු පුරාවිද්‍යාඥයන්ගේ මතයයි.
නෞකාවේ අතීතය හාරා ඇවිස්සීමේදී බාධාවක්ව ඇත්තේ මෙම නෞකාව නිමවා ඇති ලී මේ වනවිටත් මුහුදු කොරල් බවට පත්ව තිබීමය.
එහෙත් නැව නිමවා ඇති දැව වර්ගය අනුරාධපුර මුල් යුගයට හිිමිකම් කියනා බවත් ඉන් හමුවූ මැටි භාජන ක‍්‍රිස්තු පූර්ව 1-2 යුගවල සලකුණු පානා බවත් හෙළිව තිබේ. එලෙසින් මෙරට සියවස් ගණනාවක අතීතයක් ගැන සඟවා සිටි රහස් එකින් එක මේ වනවිට හෙළිවෙමින් තිබේ.
එහිදී තිස්සමහාරාමය අනුරාධපුරය හා සමගාමී පැරැුණි රාජධානියක් වූ නිසාවෙන් මෙවැනිම වූ අතීත උරුමයන් තිස්සමහාරාමයෙන්ද හමුව ඇති බැවින් දැවෙන් කරවූ මෙම නෞකාව එබඳු ඈත අතීතයක උරුමයක් බව මුහුදු පුරාවිද්‍යාඥයන්ගේ මතයයි. එනිසාම අතීත උරුමයක් දරමින් මුහුදු පත්ලේ සිට මෙසේ හමුවූයේ ආසියාවේ පැරැුණිතම නෞකාව ලෙසද මේ වනවිට සැලකිය හැකිය. අතීත සිරිලක සේද මාවතේ වෙළෙඳාමේ ආ බොහොමයක් දෙනා නොවැරැුදී ආ ගිය මර්මස්ථානයක් බව ඉතිහාසය සාක්ෂින් මඟින් ගෙනහැර දක්වද්දී එකී කර්තව්‍යයට උරදුන් ඉපැරැුණි වරායන් වන නාගපට්ටම්, ගෝකණ්ණ, ගොඩවාය, මාන්තායි වැනි වූ වරායන් ක‍්‍රිස්තු පූර්ව යුගවල සිටම නාවිකයන් භාවිත කර ඇති බවට ඉතිහාසය කරුණු දක්වයි. එකී කරුණු වඩා හොඳින් සනාථ කරන්නා වූ සාධකයක් ලෙසින්ද මෙම නෞකාව පෙන්වා දිය හැකිය. එහිදී
ඉපැරැුණි ගොඩවාය වරාය සමීපයෙන් හමුවූ නිසාවෙන් මෙම නෞකාවෙන් වසර දෙදහස් ගණනකට ඈත අතීතයක සැඟවුණු අක්මුල් නුදුරේම ලැබෙනු ඇත. ගොඩවාය ගෝඨපබ්බත විහාරයේ ඓතිහාසික ශෛලමය ලිපියක් ඇති අතර එහි සඳහන් වනුයේ ගොඩවාය වරායෙන් ලබාගන්නා වූ බදු මුදල් එකී විහාරයේ දියුණුව පිණිස යෙදවිය යුතු බවයි. ඇතැම් විට මුහුදු පතුලේ සැඟව සිටිනා මෙම නෞකාව ගොඩවාය වරාය ගැන ඉන් ඔබ්බෙන් වූ තතු නුදුරේම හෙළිදරව් කරනු ඇත.
ජාත්‍යන්තර වශයෙන් නම් දරා ඇති සෝබෝන් විශ්වවිද්‍යාලයත් ටෙක්සාස් විශ්වවිද්‍යාලයත් ෂභ් ආයතනයත් මෙරට මුහුදු පුරාවිද්‍යා අංශයත් සේවාවන් සැපයීමෙන් මෙරට මාස්ටර් ඩ‍්‍රයිවර්ස් ආයතනයත් සමගින් මෙම ගවේෂණයන් සඳහා එක්ව සිටියි.
මෙහිදී මාස්ටර් ඩයිවර්ස් ආයතනයේ සභාපති ආරියශීල වික‍්‍රමනායක මහතා කිමිදුම්කරුවෙක් ලෙස තමන් ලැබූ අත්දැකීම් හරහා පැවසුවේ මෙය අපේ ඉතිහාසය පිළිබඳ වැදගත් අවස්ථාවක් බවය. ඒ වගේම අතීත ගොඩවාය මෙරට වැදගත් වරායක් වූ බවද අතීතයේ ගොඩවායට පැමිණි නැව්වලට ආපසු කොළඹ දෙසට නොපැමිණ ඉන්දියාවට යෑමේ හැකියාවත් තිබූ බවය. අතීතයේ මෙරටට මැණික්, ඇත්දළ වැනි දෑ මිලදී ගැනීමට සහ වෙළෙඳාම් කිරීමට වෙළෙඳුන් පැමිණි බවත් එහිදී හම්බන්තොට ආශ‍්‍රිතව වසරේ එක් කාලයක් දියකඩ එක් පැත්තකටත් අනිත් කාලයේ අනෙක් පසටත් ගමන් කිරීම නිසා තෙල් නොමැතිව රුවල් මඟින් නැව් ගමනාගමනය කිරීමට හැකියාවක් තිබූ බවය. මෙසේ අම්බලන්තොටට ආ නැව කුඩා පරිමාණයේ නැවක් බවත් මේ අරාබිකරයට යකඩ, තඹ ප‍්‍රවාහනය පිණිස යොදාගත් නැවක් බවත් ඔහුගේ මතයයි. වසර 2200කට පමණ ඉහතදී යුරෝපය, ඇමෙරිකාව සොයාගෙන නොතිබූ බවත් මේ හරහා පෙනී යන්නේ අතීත ශ‍්‍රී ලංකාවේ දියුණුව බවත් ඔහුගේ අදහසයි.

රසිකා රාජපක්‍ෂ
විශේෂ ස්තුතිය :
මුහුදු පුරාවිද්‍යා සහකාර අධ්‍යක්‍ෂ

No comments:

Post a Comment