A9 මාවතේ ආදරේ මල් පිපේ
ඉඳහිට නුපුරුදු වෙඩි හඬක් සවන් වැකුණද ඒ ගැන බියක් නම් ඇයගේ සිත කොනකවත් නොවීය. යෞවනයේ එළිපත්තෙහි හිඳිමින් හද කොනකට පේ‍්‍රමයද තුරුළුකොට ගෙන අනන්තයකට දිවයන සිහින ගොන්නකට ඇය පණ දෙමින් සිටියාය. එහෙත් එක් මොහොතක, වෛරයේ හිරු නැග ආ මොහොතකදී ඇය ඒ හිරු කිරණේ වෙළුණේ ඇයවත් නොදැනය. එතෙක් කෝලම් රටාවෙන් මිදුණු සියුමැලි ඇඟිලිතුඩු ගිනි අවිය දරන්නට තරම් රළු වූයේ කෙසේදැයි ඇයවත් නොදන්නීය. එතැන් පටන් ඇය ජීවිතයේ බලාපොරොත්තු අතැර මරණයේ සෙවණැලි වැළඳගත්තාය. එහෙත් ඇයවත් නොසිතූ පරිදි අවසන ඈ ජීවත් වූවාය. ‘මං ජීවත් වෙනවා කියලා මට තවමත් හිතාගන්නවත් බෑ’
විස්මය පිරි ඒ වදන් ඇගේ මුවින් ගලා ආවේ නිරායාසයෙනි. ඉන්පසු ඇගේ මුවේ වූයේ පැතිරී යන සිනාවකි. සිනාවෙන් ඔබ්බට වූ ඇගේ කතාවේ තැනක කඳුළද, තව තැනක බියද කැටිගැසී තිබුණාය. වසර ගණනකට පසු රත් පැහැ කුඩා තිලකය ඇගේ නළලත පාළුව මකාදැමීය. සංග‍්‍රාම භූමියක දියවුණු ඇගේ රුව බැබළුවේ චාම් ආභරණයි. යුද්ධයේ ගිනිදැල් නිවීගිය සාමයේ මාවත දිගේ පා තැබූ ඇගේ කතා දිග හැරුමේදී රෝස පැහැ ලේන්සුව ඇගේ අත්ලට මිරිකී අපමණ වේදනා වින්දේය. වෛරයෙන් ගිනිගත් සිතද ගිනි අවියද අතැර ඇති ඇය දැන් සිටින්නේ තම පණනළ වන් පුතු දකින සිහිනයේ බිහිදොර අසලය.
ඒ මීට දශක දෙකකට පෙර අතීතයයි. ලක්ෂ්මී නම් වූ ඈ සිටියේ ලක්ෂ්මියකගේ ඇල්ම බැල්මවත් නොමැති ඉසව්වකය. ඒ වෙනුවට ඈ වටා සිටියේ අවි අමෝරා ගත් එල්.ටී.ටී.ඊ. සාමාජික පිරිසයි. ‘සිංහල ආණ්ඩුව අපිට වෙනස් විදියට සලකන හැටි ඔවුන් අපිට ඉගැන්වූවා. ඒ දේශනවලට මං ඉබේම ආකර්ෂණය වුණා. මං ඒ වෙනුවෙන් මැරෙන්න වුණත් ලෑස්ති වෙලා හිටියේ’
ඒ ඇගේ මංමුළාවේ මුල් පියවරයි. දමිළ ජාතීන් සඳහා වාසභූමියක් දිනාගැනීමේ එල්.ටී.ටී.ඊ.යේ බෙදුම්වාදී සිහිනයේ මායාවට ඇය හසුවූවාය. ඒ වනවිටත් ඇය සිටියේ වෛරයේ ගිනියමින් පිළිස්සෙමිනි. ඉඩකඩක් තිබුණත් ආපසු හැරෙන්නට නම් ඇගේ සිතේ කැමැත්තක් තිබුණේම නැත. එල්.ටී.ටී.ඊ.යේ සාමාජිකයන් සිය නව බඳවා ගැනීම් සඳහා ඇගේ පාසලට පැමිණෙන්නේ මේ අතරතුරේදීය. ඒ වනවිටත් ඇය ඔවුන් සමඟින් යන්නට සූදානම්ව සිටියාය. පාසල් ඇඳුමින් සැරසී සිටි ලක්ෂ්මී සුදු ගවුම ඉවතලා සයනයිඞ් මාලයට හුරු වූයේ ඇයටවත් නොදැනීමය.
‘මම ඕනම තුවක්කුවකින් වෙඩි තියන්න පුහුණු වුණා’
වෛරයෙන් ගිනියම් වූ ලක්ෂ්මී සටන් කිරීමට වූ ඇගේ හැකියාව පෙන්වූයේ කාලයටත් වඩා වේගයෙනි. කෙටිකලකින්ම ඇය එල්.ටී.ටී.ඊ.යේ ඉදිරිපෙළ ආරක්‍ෂක වළල්ලේ නායිකාවක ලෙසින්ද කටයුතු කළේ නායකයන්ගේ ඉහළම විශ්වාසය දිනාගනිමිනි.
එහෙත් නොසිතූ මොහොතක සටන් බිමකදී රජයේ හමුදා සමග ගැටුණු මොහොතකදී ලක්ෂ්මී සිය දිවියේ වසර පහක් ආපස්සට ගමන් ගත්තාය. සටන් බිමේදී තුවාල ලබන ලක්ෂ්මී පස් වසරක්ම ගත කළේ සිහි මඳ ගතියෙනි. එහෙත් ඉන් ඇගේ ධෛර්යය නම් නොසිඳුණාය. මහා ජාතිය කෙරෙහි වූ ඇගේ කෝපය ඇයව යළි නගාසිටවූවාය. ඇය යළිත් වෛරයේ මාවතම තෝරා ගත්තාය. ලක්‍ෂ්මී තම දෙවැනි ගමන ඇරඹූයේ එල්.ටී.ටී.ඊ.යේ හැඳුනුම්පත් නිකුත් කිරීමේ අංශයෙනි.
‘අපි එල්.ටී.ටී.ඊ.යට අලූත් අයිඩෙන්ටිටි ක‍්‍රමයක් හඳුන්වලා දුන්නා. අපි ප‍්‍රභාකරන්ගේ අයිඩෙන්ටියත් හැදුවා. ඒත් ඒක ඔහුට භාරදෙන්න නම් බැරි වුණා’
රතු පැහැ සාරිය ඇඟ දවටාගෙන, නළලත සින්¥ර් තිලකයකින් සරසාගන්නට ආසාවක් ලක්ෂ්මීයගේ සිතේ පැලපදියම්ව තිබුණේ කලෙක පටන්ය. එහෙත් සයනයිඞ් පතුරකට භාර කළ දිවියක මංගල තැල්ලකට නම් ඉඩක් වූයේම නැත. යෞවනයේ පෙම්වත් හීනය ලක්ෂ්මී වැනි සියදහසක් යෞවනියන්ට තහනම් වූයේ එල්.ටී.ටී.ඊ.යේ අණෙනි.
එහෙත් වැටකඩොලූ, බැමි පවුරු බිඳ දමා 2007 වසරේදී ලක්ෂ්මීගේ නළලත සින්¥ර් තිලකයෙන් මොට්ටු තැබෙන්නේ ඇය පතිනියක කරමිනි. එහෙත් ඇය තවදුරටත් සියුමැලි පතිනියක් නොවූවාය. විවාහයෙන් ඉක්බිත්තෙන් ඇයද සැමියාද එකම ඉදිරි ආරක්‍ෂක වළල්ලක වෛරයේ ගිනිදැල් වපුළන්නට වූයේ සිතින් හෝ විරාමයක් නොතබමිනි.
අවසන් සටන තෙක්ම වෛරයේ මාවතේ ඇයද ‘ඔවුහු’ ද අන්ධව ගමන් කළහ. අවසන ඔවුන්ටත් නොදැනීම පරාජයේ කටු ඔටුනු ඔවුන් අබියස විය. පරාජයේ සළුපිළි දවටාගත් ඔවුහු ‘පොදු සමා කාලය’ ඉවර වෙන්නට මත්තෙන් කළ වරද නිවැරැුදි කරගැනීමේ මාවත තෝරාගත්හ. එහෙත් ඒ වනවිටත් යළි පිළිසකර කළ නොහැකි ලෙසකින් යුද්ධය ලක්ෂ්මී වෙළා අවසන්ය. උතුරේ ඉදිරිපෙළ ආරක්‍ෂක වළල්ලේ ඇගේ කාණ්ඩයට අණ දෙන මොහොතක කඩාපාත් වූ මෝටාරයක් ඇය අතරමඟක නවතාලීය. ඉක්බිත්තෙන් අංශභාග රෝගියෙක් වූ ඇය එලෙසින්ම තම මඟට පිළිපන්නාය.
එහෙත් ඉන් නැවතුණු ජීවිතය අද සාමයේ මාවතේ යළි පණගැන්වී ඇත. සිය පුතු කැටුව හෙට දිනයේ ජීවිතය පණගන්වන්නට ලක්ෂ්මී පෙරුම්පුරමින් සිටින්නීය. සියුමැලි දෑතට ගිනි අවිය දරන්නට වූයේ ලක්ෂ්මීට පමණක්ම නොවේ. සංගීතාද යුද්ධයේ මාවතේ අතරමං වූ එක් කුසුමක් වූවාය.
වෛරයේ සේයාවකුත් නොවූ සංගීතාගේ දිවියට යුද සෙවණැල්ල වැටෙන්නේ අහම්බයෙනි. නොසිතූ මොහොතකදීය. දිනෙක අකුරු කරන්නට යන සංගීතාට සිතූ පරිද්දෙන් නැවත නිවසට යාමට නොහැකි වූයේ ද්වේශයේ උගුලක ඇය සිරවූ නිසාය. නිවස වෙනුවට එල්.ටී.ටී.ඊ.යේ වෑන් රථයක බලහත්කාරයෙන් පටවාගත් සංගීතාගේ දිවිය එතැන් සිට මිහිපිට අපායක්ම වූවාය.
ඇය වැනි තවත් මල් කැකුළු ගණනක්ම වෑන් රථයේ කඳුළු ගංගාවක අතරමංව වුන්හ. එහෙත් කඳුළුවලට වෛරයේ ගමන නතර කරන්නට නොහැකි විය. සිය ගණනක් සංගීතලා යුද කඳවුරුවල දිවියේ මඟ අතරමංව අවිවලින් සැනහෙන්නට වූහ.
‘එතැනදී බේරෙන්න කිසිම ඉඩක් තිබ්බෙ නෑ. කවුරුහරි පැනලා යන්න හැදුවොත් ඒ වැරැුද්දට දඬුවම වුණේ මරණය. අපිට වෙන කරන්න දෙයක් තිබුණෙ නෑ. අපි සටන් කළා. ඒත් අපි හැම තිස්සෙම හිත හිතා හිටියේ මරණය ගැන’
සුළු පුහුණුවකින් ඉක්බිත්තෙන් නවකයන් යොමු වූයේ ජීවිතයේ වාසනාව උරගා බැලීමටය. හරිහැටි පුහුණුවක්වත් නොලැබූ මල් කැකුළු ම්ලේච්ඡු, දරුණු සටන් පැවති ඉදිරි ආරක්ෂක වළල්ල වෙත ජ්‍යෙෂ්ඨයන් යොමු කළේ සිතේ අල්පමාත‍්‍රික හෝ තෙතමනයක් නැතිසේය. එහෙත් ‘නොපිපුණු කුසුම්’ තවදුරටත් සටන් සඳහා ගතින්වත් සිතින්වත් සුදුසු වූයේම නැත. දුබල සිරුරින් හා වෙඩි හඬින් වෙහෙසව හෙම්බත්ව සිටි ඔවුහු විටින් විට මරණය කරා දිව ගියහ.
එලෙසින් යුද්ධයේ සරදමට ලක්වූ තමා වැනිම සිය දහසක් මල් කැකුළුවල මතකය සංගීතාගේ දෙනෙත් බොඳ කළාය. ආපසු හැරෙන්නට ඉඩක් නොවූ තැන තවත් ටික දිනකින් සංගීතා මුහුදු කොටි සෙබළියකගේ චරිතයකට පණ දෙමින් සිටියාය. පුහුණුවේදී ජීවිත ආසාව පසෙකලා සැඩ මුහුදේ දින ගණනක් සංගීතා පිහිනුයේ නැවත ගොඩබිමට විත් ජීවත් වෙන්නට හැකි වේ යැයි ඇය සිහිනෙකින්වත් නොසිතාය. මැරෙන්නට සිතක් නොතිබුණද මරාගෙන මැරෙන්නටද ඇයට නියමිතව තිබිණි.
‘අන්තිම මාස කීපයේදී අපි ගොඩක් විඳෙව්වා. ඔවුන් මුහුදු කොටි සෙබළියන් පවා හමුදාවේ විශිෂ්ට අය සමග යුද්දෙට යැව්වා. අපි දැනගෙන හිටියා ජයග‍්‍රහණය ගැන බලාපොරොත්තුවක්වත් තියාගන්න ඉඩක් අපිට නැති බව. අන්තිමේදී අපි යටත් වුණා’
මේ ලැජ්ජාශීලී, නිහතමානී යෞවන කුසුම පෙරදී මාරක සටන්කාරියකි. මරාගෙන මැරෙන බෝම්බකාරියකි. එහෙත් දැන් ඇයට නිදහස් ජීවිතයකට දොර විවරව අවසන්ය.
ලක්ෂ්මීද සංගීතාද එවන් සිය දහසක්ද අද ඔවුහු සටන් වැදුණු බිමෙහිම සාමයේ මල් පීදෙනු බලා සිටිමින් සිටිති. වවුනියාවේ පූන්තොට්ටම් පුනරුත්ථාපන කඳවුරේදී අතරමඟකදී දමා ගිය දිවිය යළි ඔවුන්ට මුණගැසී ඇත. දැන් ඔවුන්ට ඇත්තේ හෙට දවසේ සිහිනයයි. ආපසු සිය ගමට යාමටත් තම කැමැත්තෙන්, වෙහෙසින් හරිහම්බ කරන්නටත් පැතූ පැතුම් ඔවුන් හිස දරා අවසන්ය.
රසිකා රාජපක්‍ෂ
No comments:
Post a Comment