අරැණ නැග එමටත් මත්තෙන් එපා ඉරා දමන්නට, සිනිදු මිහිදුම් සළුපට ඉරත් හෙමින් නැග එවි දුකක් දැනේවි හදවතට.........
Tuesday, January 22, 2013
රුවන්පුරේ දොළහේ බබා
රුවන්පුරේ දොළහේ බබා
2012.12.12 දිනය උදාවන තෙක් කොයි කවුරුත් දෑස් දල්වා බලා සිටියේ කුතුහලයෙනි. බොහෝ කල් බලා හිඳ උදාවෙන මෙවන් දිනයක් ගැන විවිධ අය විවිධ දෑ පවසමින් අනාවැකි පළ කරන්නට වූහ. බොහෝ අසුබවාදී සිහිනයන් දකිමින් හෙට දවසේ බියකරු සෙවණැලි අකැමැත්තෙන් වුවද දකිනා මොහොතක
පිරිසක් බලා සිටියේ මායාවරුන් පැවසූ ලෝක විනාශය පැමිණියහොත් කුමකින් කුමක් සිදුවේද යන විස්මයෙනි. තවත් පිරිසක් බලාසිටියේ පිටසක්වළින් පැමිණෙනවා යැයි කියන යානා සහ එළි පිටවන තෙක්ය. බොහෝදෙනා තම තමන්ගේ ලෝකය නැතිවෙතැයි බලාපොරොත්තු සිටිනා අතර ආදරණීය අම්මා කෙනකු අලූත් ජීවිතයකට පණදෙන්නට මඟ බලා සිටියාය. හෙට දිනයේ තම නිවසට ගොඩවදින ආදරණීය ලේ කැටි බිළින්දා පිළිගැනීමට ආදරණීය තාත්තා අපමණ වෙහෙසුණේය. ඔවුන්ගේ බලාපොරොත්තුවට පණ දෙමින් ඈ දසමසක් විඳි සියලූ වේදනා අමතක කරමින් පුංචි අමුත්තිය මෙලොවට
රුවන්පුරේ
දොළහේ බබා
පැමිණියාය. කිසිවකුත් නොසිතූ මොහොතක ඇය මවුකුසින් මෙලොව එළිය දකිද්දී රත්නපුර මහරෝහලේ වෛද්‍ය මණ්ඩලය මෙන්ම හෙද හෙදියන්ද මේ ඓතිහාසික මොහොතේ උපරිම කැපවීමෙන් කටයුතු කළහ.
අම්මාගෙත් තාත්තාගෙත් පැතුම් ඉටුකරමින් ඔවුන් තුරුලට ආ ඈ කිසිවක් නොදැන නිදන්නීය. දියණිය නොදුටුවත් දිවයිනේ හතර දිග්බාගේමජනතාව මොහොතකින් ඈ ගැන කතාකරන්නට පටන්ගත්හ.
කිසිදාක අමතක නොවන ඓතිහාසික දිනයක සහ වේලාවක මෙලොව පැමිණි අමුත්තිය සොයා අපි රත්නපුරයට ගියෙමු. තවමත් නමක්වත් නොමැති ඇය උපන්නේ රත්නපුර මහ රෝහලේදීය. දරුවකු මෙලොව එළිය දැකීම අතිශය සාමාන්‍ය සිදුවීමක් වුවත් අප මේ දරු පැටියා ගැන මෙලෙස සටහන් තබන්නේ ඇය උපන් වේලාව සුවිශේෂී වූ නිසාය. 2012.12.12 - 12:12 ලෙසින් සඳහන් වූ ඇගේ උපන් වේලාව කාහටත් අමතක නොවන්නකි.
අලූත උපන් රුවන්පුර මිණිකැටය සිය පවුලට වාසනාවේ දෙව්දුවක් බව පියා රුක්මන් ගුණතිලක තරයේම අදහයි.
‘අපි බැඳලා අවුරුදු 4ක් වෙනවා. කලින් බබෙක් ලැබෙන්න ඉඳලා නැති වුණා. ඩොක්ටර්ස්ලා කිව්වා කලබල වෙන්නැතුව ඉන්න, නියම වෙලාවට අපේ බලාපොරොත්තුව ඉටු වෙයි කියලා. ඒ කිව්ව විදියටම ඒ දේ සිද්ධ වුණා. මම පෙර පින ගැන ගොඩක් විශ්වාස කරන කෙනෙක්. ඒ හින්දම මට හිතෙනවා දෝණි අපි ළඟට ආවේ අපි කරපු පෙර පිනක් නිසා කියලා.
ප්‍රීතියෙන් ඔකඳවූ කුළුදුලේම පිය වරම ලැබූ තාත්තා අප හා පැවසුවේ සතුටු කඳුළු පිරි දෙනෙතිනි.
‘කලින් මගේ නෝනට දෙපාරක්ම අමාරුවෙලා ඇඞ්මිඞ් කළා. ඒත් ඊට පස්සෙ ටිකට් කපාගෙන ආවා. මේ දොළොස්වැනිදාට දින දීලයි තිබුණෙ. අපි
එකළොස් වැනිදා ඩොක්ටර් හම්බ වෙන්න ගියා. එදා ඩොක්ට(ර්* කිව්වා නතර වෙන්න කියලා. ඒත් ඉතින් මේ වෙලාවටම බබා හම්බවෙයි කියලා මං හිතුවෙ නෑ’
අපූර්වම මොහොතක මෙලොව එළිය දුටුවෙන් රුක්මන්ගේත් ගයනිගේත් බිළිඳිය කොයි කා අතරත් ප්‍රචලිතය.
‘ගොඩක් තැන්වලින් කිව්වා දුව ගොඩක් වාසනාවන්තයි කියලා. බලගතු වෙලාවක් නිසා හොඳට ඉගෙන ගනියි කියලත් කිව්වා. මොන වෙලාවෙ ඉපදුණත් මේ දරුවා අපිට ලොකු වස්තුවක්. ඒත් මට ඕනා කවදාහරි රටට බරක් නැති හොඳ දරුවෙක් බිහිකරන්න.’
වාසනාවේ මහිමය හොඳින් අදහන මැණික් ව්‍යාපාරිකයෙක් වන රුක්මන් සිය පවුලට එක් වූ වාසනාවේ දෙව්දුව ගැන කතාකරන්නේ ආඩම්බරයෙනි.
රටම කතා කරන දියණියගේ මව වූ ගයනි සුසන්තිකා මහත්මියද අද සිටින්නේ මවු සෙනෙහසේ කිරුළු දරමිනි.
‘බබා හම්බවෙන කොට ගොඩක් අමාරු වුණා. දරුපැටියගෙ මූණ දැක්කම ඒ වේදනා කොහෙන් ගියාද දන්නෙ නෑ. දැන් නම් මට ගොඩක් සතුටුයි’
ඈ පවසන්නේ බිළිඳියගේ නළලත සිපගනිමිනි.
එකී වේදනාවේ සේයාවක්වත් ඇගේ කටහෙඬ් නොමැත්තේය. වාසනාව කැන්දන් ආ දියණියගේ පහසින් ගයනි සිටින්නේ අනාගතය ගැන දහසක් පැතුම් සපුරා ගනිමිනි.
‘බබා හම්බවෙන වෙලාවේ ඩොක්ට(ර්*ස්ලාත් ගොඩක් උදව් කළා. හැමෝම කිව්වේ වාසනාවන්ත වෙලාවක් කියලා’
මවු සෙනෙහස දෝරගලනා ගයනිගේ කටහෙඬ්ද ආඩම්බරය මුසුව ඇත්තේය.
කොයි මොහොතේ උපන්නත් දරුවන් මවුපියන්ට මැණික්මය. රුක්මන්ට හා ගයනිටද උපන් වෙලාවට වැඩියෙන් තමන්ට ලැබූ මැණිකක් වන් සිඟිත්තිය වටින්නේය.
අපූරු වෙලාවක උපන් මේ කිරිකැටි බිළිඳිය ගැන නොයෙක් අය නොයෙක් අදහස් පළ කරද්දී කිසිවක් නොදත් ඈ මවුතුරුලට ගුලිවී සුව නින්දේය.
රසිකා රාජපක්ෂ
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment